Tuesday, May 7, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාව කලින්ම 20 යි 20 තරගාවලිය දිනයි




ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරග 3කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. 

ඒ දෙරට අතර පැවති දෙවන 20 යි 20 තරගයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 103 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත්වුණා.

 ශ්‍රී ලංකා ඉනිමේ පන්දු 51ක් ම සටහන් ව තිබුණේ නිලකුණු පන්දු ලෙසයි. 

ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු 103 සටහන් වූයේ ශ්‍රී ලංකා පිල මෙරට පැවති විස්සයි විස්ස තරගයකදි පළමුවෙන් පන්දුවට පහරදි ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි. 

එමෙන්ම එය දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පිල විස්සයි විස්ස පිටියේ වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ලෙසද සටහන් වුණා. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් ජනිත් පෙරේරා මෙහිදී පන්දු 25 කදී ලකුණු 30ක් රැස් කළා. 

භානුක රාජපක්ෂ පන්දු 13කදි ලකුණු 20 යි. ශ්‍රී ලංකා පිතිකරුවන් 9 දෙනෙකුම දකුණු අප්‍රිකානු දග පන්දු යවන්නන්ගේ ගොදුරු බවට පත්වීම ඊයේ තරගයේදී කැපී පෙනුනා. ඒඩ්න් මාක්‍රම් සහ ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන ටැබ්රයිස් ශම්සි කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 104ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවි පහසුවෙන් ජයග්‍රාහී සීමාව පසුකර ගියා. 

ක්යින්ටන් ඩි කොක් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ පන්දු 48කදී නොදැවී ලකුණු 58ක් රැස් කරමින්.

 පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 22කට එක් කඩුල්ලක් දවා ගත්තා. අඩු ලකුණු සංඛ්‍යාවක් ආරක්ෂා කිරීමට ඇති අවස්ථාවක ශ්‍රී ලංකා පිලේ ප්‍රබල තුරුම්පුවක් වූ වනිදු හසරංගට පවර් ප්ලේ අවස්ථාවේ පන්දු යැවීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ක්‍රිකට් විචාරකයින්ගේ දැඩි කතාබහට ලක්වුණා. 

තරගයේ වීරයා දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි. දෙරට අතර පැවැත්වෙන 3 වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වීමට නියමිතයි.