Friday, May 17, 2024

General line - 0115112241

අයර්ලන්ත පන්දු යවන්නෙකු මාලිංගගේ කඩුළු හතරේ ලෝක  වාර්තාව සම කරයි




පන්දුවාර 20 තරග පිටියේ අඛණ්ඩව පන්දු 04 කින් පිට පිට කඩුළු 04 ක් දවා ගත් ලොව තෙවන පන්දු යවන්නා ලෙස අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්පර් අද වාර්තා පොතට එක්වුණා. 

ඒ, පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අබුඩාබිහිදී පැවැති තරගයේදීයි. එහිදී අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්පර් 10 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් එම පන්දුවාරයේ දෙවන, තුන්වන, හතරවන සහ පස්වන පන්දුවලදී පිට පිට කඩුළු 04 ක් දවා ගනිමින් මෙම දස්කම දැක්වුවා. 

මීට පෙර 20 යි 20 තරග පිටියේ මෙවැනි දස්කමක් දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් පමණයි. අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක කර්ටිස් කැම්පර් මෙම තරගයේ වාර්තා කළ කඩුළු ත්‍රිත්වය වාර්තා පොත් අතරට එක්වූයේ පන්දුවාර 20 ලෝක කුසලාන තරග පිටියේ වාර්තා වූ දෙවන කඩුළු ත්‍රිත්වය ලෙසයි. 

ඕස්ට්‍රේලියානු  වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී, 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව මීට පෙර කඩුළු ත්‍රිත්වයක් වාර්තා කර තිබුණා.

 මේ අතර පන්දුවාර 20 ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද රාත්‍රී 07 යි 30 ට අබුඩාබිහිදී ආරම්භ වනවා. ඒ, නැමීබියානු කණ්ඩායමට එරෙහිවයි. 

මේ අතර අභාවප්‍රාප්ත ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතාගේ වියෝව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරගයට ක්‍රීඩා කරන්නේ කළුපටි පැළඳයි.