Thursday, November 28, 2024

General line - 0115112241

විදුලිබල මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 60ක ශුද්ධ ලාභයේ වාසිය විදුලි පාරිභෝගිකයාට නොලැබෙයිද?




මෙම වසර තුළදී විදුලි බිලෙහි සංශෝධනයක් සිදු කිරීමට නොහැකි වුවහොත් විදුලිබල මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 60ක ශුද්ධ ලාභයේ වාසිය විදුලි පාරිභෝගිකයාට ලබාදීමට නොහැකි වන බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ මෙම වසර තුළදී ජනතාවට විදුලි බිලෙහි සහනයක් ලබාදීමට විදුලිබල මණ්ඩලය කිසිදු අවස්ථාවක උත්සාහයක් ගෙන නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා.

බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා මෙම අදහස් පළ කළේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින්. 

එම මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ පැවති ක්‍රමවේදයට අනුකූලව 2024 අවසන් කාර්තුවේ පුරෝකතනය කළ වියදම් ද, දෙවන හා තුන්වන කාර්තුවල ආදායම් ද, 2014 - 2022 වකවානුවේ ගත් ණය යළි ගෙවීම් ද සලකා, සියයට 6 සිට සියයට 11 දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය 2024.10.24 දින ඉදිරිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියාමක විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

2024 අවසන් කාර්තුව සඳහා නොව 2025 මුල් මාස 06 සලකා 2025.01.01 සිට බලපැවැත්වෙන පරිදි ගාස්තු සංශෝධනය සඳහා එම යෝජනාව යළි සකසා එවන ලෙස නියාමක විසින් ඉල්ලා සිටි බවද එම නිවේදනයේ දැක්වුණා. 

2025 වසර සඳහා නව යෝජනාව ක්‍රමවත් පරිදි ඉදිරිපත් කිරීම සඳහා ලංවිමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වන අතර එම යෝජනාව 2024.12.06 දිනට පෙර නියාමක වෙත යොමු කෙරෙනු ඇති බවයි එහි වැඩිදුරටත් දැක්වුණේ. 

2024 මුල් කාර්තු තුනේදී පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට නියාමක නිලධාරින් ගත් තීරණය නිසා 2024 අවසන් කාර්තුවේදී මිල අඩු කිරීමට ලංවිමට අවසර නොලැබුණු බවද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ඒ ඩී කේ පරාක්‍රමසිංහගේ අත්සනින් නිකුත් කෙරුණු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.