පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකාව ඊයේ රාත්රියේ සමත් වුණා. ඒ‘ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 7 කට ලකුණු 171 ක් රැස් කළා. ලකුණු 8 කට ශ්රී ලංකා මුල්පෙළ කඩුළු 3 ක් පන්දුවාර 2 ක් තුළ බිද වැටී තිබියදී ශ්රී ලංකා ඉනිම ශක්තිමත් තැනකට ඔසවා තැබුවේ සිව් වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 ක සබදතාවක් ගොඩනැගූ වනිදු හසරංග සහ පැතුම් නිශ්ශංකයි. වනිදු පන්දු 47 කදී ලකුණු 71 ක් ද පැතුම් පන්දු 47 කදී ලකුණු 61 ක් ද රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 18 යි පන්දු 3 ක් තුළ සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි. යළි පන්දුවෙන් දස්කම් දැක්වූ මහේෂ් තීක්ෂණ ලකුණු 17 කට කඩුළු 3 ක් බිද හෙළුවා. චාමික කරුණාරත්න හා ලහිරු කුමාර කඩුළු 2 ක බැගින් බිද හෙලද්දී දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායමක් සුදුසුකම් ලැබීමේ වටයට මුහුණදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම වටයේ ශ්රී ලංකාව සහභාගි වන අවසන් තරගය නෙදර්ලන්තය සමග හෙට පැවැත්වෙනවා.