Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සංයුතිය ගැන තීරණය අද




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද රාත්‍රී 7 යි 30 ට නෙදර්ලන්තය සමඟ පැවැත්වෙනවා. 

ශ්‍රී ලංකා කණ්ඩායම දැනටමත් ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් 12 ට සුදුසුකම් ලබා ඇති නමුත් ජයග්‍රාහී රිද්මය පවත්වාගැනීමේදී හා මුල් පෙළ පිතිකරුවන් පිළිබඳ තීරණයක් ගැනීමට මෙම තරඟය අතිශය වැදගත්. 

ශ්‍රී ලංකා පිළ මූලික වටයේ සහභාගී වූ තරඟ දෙකම පැවැත්වුණේ අබුඩාබිහීදි වුවත් අද තරඟය පැවැත්වෙන්නේ. සාජා ක්‍රීඩාංගණයේයි. ඒ අනුව තනතීරුවේ ස්වභාවය මත ශ්‍රී ලංකා පිළේ අංක 3 ස්ථානය වෙනස්වීමට ඉඩක් ඇති බවටයි පැවසෙන්නේ. සාජා තනතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වන බැවින් බොහෝදුරට දිනේෂ් චන්දිමාල් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමට ද ඉඩ ඇති බවටයි පැවසෙන්නේ. චරිත් අසලංක පිළිබඳව ද සලකා බලනු ඇතැයි තවත් වාර්තාවල දැක්වෙන නමුත් ජයග්‍රාහි සංචිතය වෙනස් නොකරනු ඇති බවටද තවත් වාර්තාවල සඳහන්.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර 20 යි විස්ස ක්‍රිකට් පිටියේදී නෙදර්ලන්තය මුණ ගැසෙන්නේ වසර 07 කට පසුවයි. 2014 වසරේ දෙරට අතර පැවති පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දුයවන්නන් හමුවේ නෙදර්ලන්ත පිළ ලකුණු 39 කට දැවී ගියා.