Monday, April 29, 2024

General line - 0115112241

පළමු පිම්ම සාර්ථක කර දුන් මහේල යලි දිවයිනට




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලබන මහේල ජයවර්ධන ඉදිරි දින කිහිපයේදී නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට තීරණය කර තිබෙනවා. 

අප විසින් සිදුකළ විමසීමකදී මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ තමන් තවත් දින කිහිපයකදී නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත බවයි.

මහේල ජයවර්ධන මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග උපදේශකයෙකු ලෙස එක්ව සිටින්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ වටයට පමණයි. 

කෙසේ වුවත් ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග සදහාද හිටපු නායක මහේල ජයවර්ධනගේ සහාය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබුණා.

කෙසේ වුවත් මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා පිලිට අවශ්‍ය උපදෙස් සහ සහය ලබාදීමට සුදානම්ව සිටින බවයි මහේල ජයවර්ධන සඳහන් කර සිටියේ.

මහේල ජයවර්ධන විසින් සිදුකරන සැලසුම් සහ මානසික තත්ත්වය ඉහළ නැංවීමට ගත් පියවර පිළිබද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මීට පෙර අගය කරමින් අදහස් පළ කළා. 

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරනු ලබන්නේ කිසිදු වැටුපක් නොගෙන වීමද විශේෂත්වයක්.