Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - බංග්ලාදේශ සුපිරි 12 වටයේ ක්‍රිකට් ගැටුම අද




මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය සාජා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. 

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට ආරම්භ වනවා. අද තරගය සඳහා මහීෂ් තීක්ෂණ සහභාගී නොවන බවයි වාර්තා වන්නේ. 

ඒ වෙනුවට අකිල ධනංජය අද තරගය සඳහා කැඳවනු ඇති බවද වාර්තා වනවා. සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග ජය ගනිමින් සිය කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් කරනු ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නායක දසුන් ශානක පැවසුවේ.

මේ අතර සුපිරි 12 වටයේ කාගේත් වැඩි අවධානයක් දිනා ගත් තවත් තරගයක් අද රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ පාකිස්ථානය සහ ඉන්දියාව අතරයි. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07යි 30ට ඩුබායිහිදී ආරම්භ වනවා. ඉන්දියාව සහ පාකිස්ථානය අතර මෙලෙස පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර 05කට පසුවයි. දෙරට අතර අවසන් වරට පන්දුවාර විස්ස ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ 2016 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි. 

ඉන්දියාව සහ පාකිස්ථානය අතර අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීයි. ඒ අනුව ගත වූ වසර කිහිපයේදී දෙපිලම ලෝක කුසලාන තරග සඳහා පමණක් එක් වීම විශේෂත්වයක්. 

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග ඊයේ ආරම්භ වූ අතර ඊයේ පැවති තරගවලදී ඕස්ටේ්‍රලියාව සහ එංගලන්තය ජය වාර්තා කිරීමට සමත් වුණා. ඕස්ටේ්‍රලියාව එහිදී දකුණු අප්‍රිකාව පරාජය කළේ කඩුලු 05කින්. එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින් විශිෂ්ඨ ජයක් වාර්තා කළා.  එහිදී එංගලන්ත පන්දු යවන්නන් කොදෙව් ඉනිම ලකුණු 55කට සීමා කිරීම විශේෂත්වයක්. 

එම ලකුණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වුයේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් රැස් කළ තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.