Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි දිවයිනට




ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම එරට අදානි සමූහ ව්‍යාපාරසේ සභාපති ගෞතම් අදානි දිවයිනට පැමිණියා.

ඔහු ඇතුළු  10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගෞතම් අදානි අතර හමුවක් අද පැවැත්වීමට නියමිත බව “ද හින්දු පුවත්පත” වාර්තා කර තිබෙනවා. එම පුවත්පත වාර්තා කර ඇත්තේ කොළඹදී එම හමුව පැවැත්වෙනු ඇති බවයි.

අදානි සමූහ ව්‍යාපාරසේ සභාපති ගෞතම් අදානි, පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බවත්, එම සංචාරය අතරතුර ඔහු එලෙස ජනාධිපතිවරයා හමුවෙනු ඇති බවත් “ද හින්දු පුවත්පත” වාර්තා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අදානි සමූහ ව්‍යාපාරසේ සභාපති ගෞතම් අදානි අතර පැවැත්වෙන හමුවේදී කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු මෙරට සිදු කෙරෙන තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ගෞතම් අදානි, මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතව ඇති බව ද ආරංචි මාර්ග උපුටා දක්වමින් “ද හින්දු පුවත්පත” වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් ගෞතම් අදානි මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමාගම සමග ගිවිසුම් ගතවී ඇති පසුබිමක් තුළයි. අදානි සමාගමේ සභාපති ගෞතම් අදානි ශ්‍රී ලංකාවේ වරාය, බලශක්තිය සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ ව්‍යාපෘති සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බව ද “ද හින්දු පුවත්පත” වැඩිදුරටත්  වාර්තා කර තිබෙනවා.