Sunday, November 24, 2024

General line - 0115112241

තවත් බස් රථ අනතුරක් - මගීන් කිහිපදෙනෙකුට සුළු තුවාල

නිහාල්සිරි ගම්ලත්




රුවන්වැල්ල ප්‍රධාන පාසලක් අසල වංගුවේදී අද අලුයම තවත් බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.

මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පාරෙන් ඉවතට පැන නිවසක් මතට කඩා වැදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් බස් රථයේ සිටි මගීන් කිහිපදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් රෝහල්ගත නොවූ බවයි වාර්තා වුණේ. අදාළ නිවසටද දැඩි අලාභ හානි සිදුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. 

මේ අතර බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ඇතුළු 39 දෙනෙකු තවදුරටත් බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ එම අනතුර සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා.

අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්‍ෂක අමාත්‍යංශය පැවසුවේ 23 හැවිරිදි වියේ පසුවූ කුරුණෑගල සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචිව සිටි සිසුවියන් දෙදෙනෙක් එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.

මේ අතර, නුවරඑළිය - හැටන් මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේදීද ඊයේ රාත්‍රියේ රිය අනතුරක් සිදු වුණා.

එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.