Sunday, April 28, 2024

General line - 0115112241

අසාද් සාලිට අධිචෝදනා පත්‍ර භාරදෙයි




ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දුන්නා.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ  විත්තිකරුට භාර දෙන ලදී .

ඒ අනුව  නඩු විභාගය නොවැම්බර් මස 2 වනදා සිදු කිරීමට  මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර මීළඟ දින  සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලදී.

ඉකුත් මාර්තු මස 09 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අසාද් සාලි මහතා විසින් "අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ "හදිසියයි" හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ" යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබේ.

සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ  සම්මුති පනතේ ප්‍රතිපාදන අනුව කොළඹ මහාධිකරණයේ  අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත.