වැටුප් විෂමතා විසඳීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද පස්වරුවේ රටපුරා ගුරු - විදුහල්පතිවරුන් විරෝධතා මාලාවක නිරත වුණා.
ඒ, පාසැල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අවසන්වීමෙන් අනතුරුවයි. පස්වරු 02 ට එම විරෝධතාව රට පුරා ක්‍රියාත්මක වුණා. කොළඹ දුම්රියපල ඉදිරිපිටදී ද ගුරු - විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් විරෝධතාවක් සංවිධාන කර තිබූ අතර එම විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වූ මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පැවැති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මෙම විරෝධතාවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ගුරු - විදුහල්පතිවරුන් දරුවන්ගේ ඉගැන්වීම් කටයුතු සඳහා පමණක් එක්වන බවයි. සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තෙක් අධ්‍යාපන කාර්යාලවල පැවැත්වෙන රැස්වීම් ඇතුළු සිය රැස්වීම් ගුරු - විදුහල්පතිවරුන් විසින් වර්ජනය කරන බවයි.
සිය ඉල්ලීම්වලට රජය සාධාරණ විසඳුමක් ලබා නොදුන හොත් ඉදිරියේදී දැඩි පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සඳහන් කළේ ගුරු - විදුහල්පතිවරුන් පාසැල්වල අධ්‍යයන කටයුතු අවසන් වීමෙන් පසු විරෝධතාවලට එක්වීම දරුවන් අවදානමකට ලක් කිරීමක් බවයි.
මේ අතර දිවයින පුරා පාසැල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද ආරම්භ වූ අතර පාසැල් පැමිණීම සඳහා සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ද දැඩි උනන්දුවක් පැවතියා.
සෞඛ්‍ය ක්‍රමවේද අනුව දරුවන් පාසැල්වලට ඇතුළත් කර ගැනීම සිදු කෙරුණු අතර ඉගැන්වීම් කටයුතු සිදු කෙරුණේ ද සෞඛ්‍ය ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින්.
කෙසේවෙතත් ප්‍රදේශ කිහිපයක පාසැල්වල ප්‍රාථමික අංශ අද දිනයේදී ආරම්භ කිරීමට හැකිවූයේ නැහැ. ඒ, එම පාසැල් පිරිසිදු කර නොතිබීම හේතුවෙන්. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ පාසැල් කටයුතු පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව කටයුතු කිරීම වැදගත් බවයි.
මේ අතර පළාත් තුළ දුම්රිය ධාවන කටයුතු අද ආරම්භ කෙරුණු අතර මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර.