පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් තොරතුරු එක්රැස් කරන අයෙකු පිළිබඳ නෙත් නිවුස් තොරතුරු අනාවරණ කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු අදාළ සැකකරු නොවැම්බර් මස 08 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ රවිඳු කල්හාර නමැති 18 හැවිරිදි මොරටුව, රාවතාවත්ත ලක්ෂපතිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. එම සැකකරු පිළිබඳ නෙත් නිවුස් හරහා තොරතුරු අනාවරණ කිරීමෙන් පසු ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
වෙනත් පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම සහ පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටීම සැකකරුට එරෙහිව ගොනු කළ චෝදනා වනවා. මෙම පුද්ගලයා පොලීසියේ බව හගවමින් උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි පුද්ගලයින්ගේ එම කටයුතු කඩිනම් කර දෙන බව පවසා ගිණුමකට මුදල් බැරකර ගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ. එම නිසා අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
කරුණු සලකා බලා විමර්ශනවලට බාධා කිරීම් සිදුවිය හැකි බැවින් සහ සැකකරු පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටීම හේතුවෙන් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්ගුරුගොඩ නියෝග කළේ. මෙම සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමෙන් පසු බස්නාහිර පළාත් විශේෂ පරීක්ෂණ ඒකකය ද ඒ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කළා.
පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් අදාල පුද්ගලයා ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවයි නෙත් නිවුස් එහිදී අනාවරණ කළේ. පොලිස් මාධ්‍ය ඇඩ්මින්වරයෙකු ලෙසද මෙම පුද්ගලයා තමන් හදුන්වා දෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු රැස් කරන බවද එමගින් අනාවරණ කෙරුණා. නෙත් නිවුස් කළ ගවේෂණයේදී වැඩිදුරටත් හෙළි වුණේ “පොලිස්පතිට කියමු” නමින් ද ෆේස්බුක් පිටුවක් සැකකරු විසින් නිර්මාණය කර ඇති බවයි.
මෙම තොරතුරු නෙත් නිවුස් හරහා අනාවරණ කීරීමත් සමග ඒ පිළිබඳව අදාළ මූලාශ්‍ර සොයා ගැනීම සදහා පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඊට අදාළව තොරතුරු ලබාදුන් නෙත් නිවුස් මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වුණා. නෙත් නිවුස් මාධ්‍යවේදීන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් පොලීසිය පවසා ඇත්තේ මේ පිළිබද ප්‍රශ්න කිරීම සදහා පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. ඒ අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න උපදෙස් දී ඇත්තේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙසයි. රටට තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරන බවට මෑතකදී වාර්තා වූ දෙවන සිද්ධිය මෙයයි.
මීට පෙර සුදුළුෑනු වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට සූදානම් වුණා. ඒ අවස්ථාවේදී ද අග්‍රාමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබුණේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙසයි.