Monday, April 29, 2024

General line - 0115112241

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනයට මැදිහත් වන ලෙස ඉල්ලීම්




සිමෙන්ති හිගය හේතුවෙන් බ්ලොක් ගල් නිෂ්පාදනය ඇතුළු සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදන රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනවල හිගයක් පවතින බවයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන පාර්ශව පවසන්නේ. සිමෙන්ති මිල ඉහළ දැමීම හේතුවෙන් ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති දේශබන්දු සුසන්ත ලියනාරච්චි සඳහන් කළා. 

මෙරට සිමෙන්ති නිෂ්පාදනයට වඩා ඉල්ලුම සීග්‍රයෙන් ඉහළයාම හේතුවෙන් එවැනි හිගයක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති ආනයනය නතර කිරීම ද ඊට තවත් ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

සිමෙන්ති හිගය හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති නතර කිරීමට ද සිදුව ඇති බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ. සිමෙන්තිවලට අමතරව කොන්ක්‍රීට් සඳහා යොදා ගැනෙන වානේ කම්බි හිගයක් පවතින බව ද ඔහු සඳහන් කළා. කළුගල් මිල ද ගල්කොරි හිමියන් විසින් අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

රට තුළ පවතින සිමෙන්ති හිගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළේ එම තත්ත්වය මගහැරීම සඳහා සිමෙන්ති සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. ඒ අනුව ඉදිරි සති 02 තුළ එම සමාගම් වෙළඳපලේ පවතින සිමෙන්ති හිගයට විසඳුම් ලබා දෙනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.