Saturday, November 2, 2024

General line - 0115112241

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙ අධිකරණයට




කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් අද අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරුණා.  

ඒ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ විසින්. 

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක්. 

යුගදනවි බලාගාරයේ රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවත් ඒ මගින් රටේ බලශක්තිය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය ඇමරිකානු සමාගමකට හිමි වීමෙන් ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව අනතුරුදායක තත්ත්වයකට පත් කර ඇති බවත් පෙත්සමේ දක්වා තිබෙනවා. 

අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර අමෙරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව බවත්  එම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන්. 

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.  

යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළා.