Saturday, November 2, 2024

General line - 0115112241

පිටස්තරයන් පවත්වාගෙන යන පොලිස් සමාජ මාධ්‍ය ගිණුම්වලට සති දෙකක් ඇතුලත වැට බැදේ (VIDEO)




පොලීසිය හා සම්බන්ධව සිවිල් පුද්ගලයින් පවත්වාගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. සති 02 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එවැනි ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

ඒ අනුව සිවිල් පුද්ගලයින්ට පොලිස් දෙපාර්තමේන්තුවේ නම කුමන හෝ ආකාරයකින් භාවිත කරමින් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යාම තහනම් වනු ඇති. දැනට එවැනි ගිණුම් 50 ක් පමණ පවත්වා ගෙන යන බවට පොලිස් දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී ඇති බව ද වාර්තා වුණා. 

මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී ඇත්තේ රවිඳු කල්හාර නමැත්තෙකු විසින් තමන් පොලිස් නිලධාරියෙකු යැයි හඳුන්වාදෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු එක් රැස් කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් පසුගිය දා කළ අනාවරණයයි. එම අනාවරණයෙන් පසු අදාළ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු තමන් පොලීසියේ බව හගවමින් උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි පුද්ගලයින්ගෙන් එම කටයුතු කඩිනම් කර දෙන බව පවසා ගිණුමකට මුදල් බැරකර ගෙන ඇති බවයි.

එම සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව නොවැම්බර් මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.