Thursday, May 2, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියා තරගයේදී තීක්ෂණ යළි ශ්‍රී ලංකා පන්දු බලඇණියට




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සමග හෙට පැවැත්වෙන තරඟයට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා කරන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ බංග්ලාදේශය සමග පැවති තරගයට ක්‍රීඩා කළේ නැහැ. 

මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

මේ අතර පළමු කාණ්ඩය යටතේ අද පැවති තරඟයකින් කඩුලු 08 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. එම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 124 ක් රැස් කළා. 

මුෂ්පික රහීම් ලකුණු 29 යි. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක් තුළ කඩුලු 02 කට ලකුණු 126 ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළා. ජේසන් රෝයි පන්දු 38 කදී ලකුණු 61 යි. ඔහුගේ ඉනිමට හතරේ පහර 05 ක් සහ හයේ පහර 03 ක් ඇතුලත් වුණා.