Saturday, November 2, 2024

General line - 0115112241

පළාත් සංචරණ සීමා ඉවතට - විනෝද චාරිකා එපා - වගකීමෙන් කටයුතු කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි




පළාත් සංචරණ සීමා අද අලුයම හතරේ සිට ඉවත් කෙරුණා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා පැවති කොවිඩ් මර්දන කමිටුවේදී සදහන් කළේ. පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.

ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් රට තුළ තවත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත්.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශමාලාවන්ට අනුගතවීම සියළු ජනතාවගේ වගකීමක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ.

ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

වගකීම් විරහිතව කටයුතු කළහොත් දෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිදුවන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමය වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර පළාත් සංචරණ සීමා ඉවත් කිරීම හේතුවෙන් හෙට දිනයේ සිට බස් රථ සහ දුම්රිය වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ප්‍රවාහන බලධාරීන් සදහන් කළා. කෙසේවෙතත් බස් රථවල මගීන් ප්‍රවාහණය කළ හැක්කේ ආසන ගණනට පමණයි. හෙට දිනයේ දුම්රිය ගමන් වාර 152 ක් ධාවනයට එක් කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් වෙත පැවසුවා.