Saturday, November 2, 2024

General line - 0115112241

වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද - පස්වරුවේ කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්




අපවත් වී වදාළ කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පස්වරු 2.30 ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීයි. 

ආදාහන පූජෝත්සවයේ කටයුතු සම්බන්ධයෙන් කරුණු දැක්වු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ශ්‍රස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය අග්‍රහැරේ කස්සප හිමියන්.

අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරව සදහා මධ්‍යහ්න 12.30 දක්වා පෑලියගොඩ විiාලංකාර පිරිවෙනෙහි තැන්පත් කර තැබෙනවා. 

ඉන් අනතුරුව ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර පස්වරු 12.30ට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ, කැළණි පාලම, බේස්ලයින් මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය, හොර්ටන් විජේරාම මංසන්ධිය, හොර්ටන් වටරවුම, සහ නිදහස්  මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර ගමන් කෙරෙනු ඇති. එම මාර්ගවල අවහිරතාවයන් වැළැක්වීම සදහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 28 වනදා ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වුණා. අපවත් වනවිට උන්වහන්සේ 84 වියේ පසු වුණා. විචිත්‍ර ධර්ම කථික හිමිනමක් ද වන ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් මෙරට ශාසනික උන්නතිය උදෙසා ඉමහත් සේවයක් කළ හිමිනමක් ලෙසයි සැලකෙන්නේ.

මේ අතර කුසල ධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ලත් සියලු ස්ථාන වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. උන්වහන්සේ අපවත්වීම පිරිමැසිය නොහැකි අවකාශයක් ශේෂ කර ඇතැයි එම ශෝක පණිවිඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ අපවත්වීම වෙනුවෙන් ශෝක පණිවිඩුයක් නිකුත් කර තිබෙනවා.