Tuesday, May 14, 2024

General line - 0115112241

වනිදු සහ පැතුම් විස්සයි විස්ස ලෝක කුසලානයේ දක්ෂතා අතර පෙරමුණේ




මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් සහ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකිීක ක්‍රීඩකයින් දෙදෙනෙකු සමත්ව තිබෙනවා. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු ලාභින් අතර පෙරමුණ ගෙන සිටින්නේ ඉනිම් 06කදී ලකුණු 169ක් රැස් කරමින්. ඊට අර්ධ ශතක දෙකක්ද ඇතුළත්.

 එම ලැයිස්තුවේ දෙක, තුන සහ සිව්වන ස්ථානවල පිළිවෙලින් සිටින්නේ මහමුදුල්ලා, මොහොමඩ් නහීම්, මුෂ්ෆික රහීම් යන බංග්ලාදේශ ක්‍රිඩකයින්. වැඩිම ලකුණු ලාභින් අතර පස්වන ස්ථානයේ චරිත් අසලංකට හිමිව ඇති අතර ඔහු ඉනිම් 04කදී ලකුණු 142ක් රැස්කර කර තිබෙනවා. ඒ, 47යි දශම 3යි 3ක පිතිකරණ සාමාන්‍යයක් රදවා ගනිමින්. 

මේ අතර  පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර වනිදු හසරංග කඩුලු 11 දවා ගනිමින් පෙරමුණේ පසුවනවා. ඔහු පන්දුවාර 22ක් ක්‍රියාත්මක කරමින් ලබා දී ඇත්තේ ලකුණු 116ක් පමණයි. බංග්ලාදේශ කණ්ඩායමේ ශකීබ් අල් හසන් එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 123කට කඩුලු 11 දවා ගනිමින්. ඔහුද ඒ සඳහා වැය කර ඇත්තේ පන්දුවාර 22ක්. 

වැඩිම කඩුලු ලාභීන් අතර සිව්වන සහ පස්වන ස්ථානයේ පසුවන්නේ මහීෂ් තීක්ෂණ සහ ලහිරු කුමාරයි. ඔවුන් දෙදෙනා කඩුලු 08 බැගින් දවා ගැනීමට සමත්ව තිබෙනවා. 

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක් දෙවන කාණ්ඩය යටතේ අබුඩාබියේදී පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ නැමීබියාව අතරයි. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 03යි 30ට ආරම්භ වීමට නියමිතයි.

අනෙක් තරගය දෙවන කාණ්ඩය යටතේ ඉන්දියාව සහ නවසීලන්තය අතර ඩුබායිහීදී පැවැත්වෙනවා. ඉන්දියාව සහ නවසීලන්තය සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ තමන් සහභාගීවු තරග දෙකම පරාජයට පත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රදවා ගැනීමට නම් දෙපිලටම අද තරගයේ ජය තීරණාත්මකයි.

එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 06ක් ලබා පාකිස්ථානය අපරාජිතව පෙරමුණේ පසුවනවා. ඇෆ්ගනිස්ථානය එම සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 02ක් ලබමින්.