Saturday, November 2, 2024

General line - 0115112241

ජලාශ කිහිපයක් වාන් දමයි - තද වැසි ගැනත් කාළගුණයෙන් අනතුරු ඇගවීමක්




ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. වික්ටෝරියා, රාජාංගනය සහ අංගමුව ජලාශය    වල වාන්දොරටු කිහිපයක් විවෘත කර ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවේ. ජලාශවල නවතම තත්ත්වය පිළිබඳ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස් පී සී සූගිශ්වර මෙලෙස අදහස් පළ කළා. 

මේ අතර යාපනය ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් නල්ලූර් කෝවිලද ජලයෙන් යටවී තිබෙනවා. යාපනයේ සංදිලිපායි ප්‍රදේශ නිවාස 12කට හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. යාපනය ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ආපදා හේතුවෙන්  පවුල් 49කට අයත් පුද්ගලයින් 158 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. 

මේ අතර දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රීතව ස්ථානගතව පැවතීම හේතුවෙන් අද දිනයේද ප්‍රදේශ රැසකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කල කාලගුණ නිවේදනයේ දැක්වුණේ.