පොහොර ආනයනය කරන ලද සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයෙකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් තමාගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමාගේ කිසිඳු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිඳු ලෙසකින් සිදුකර නොමැති බවයි.
එවැනි මැදිහත්වීමක් පිළිබඳ තමන් තොරතුරු දැනගත්තේ ද මාධ්‍ය තුළින් බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ. තමන් විසින් එවැනි කිසිඳු මැදිහත්වීමක් හෝ බලපෑමක් සිදුකර ඇති බවට කවරෙකු හෝ සතුව අදාළ සාක්ෂි හෝ කරුණු ඇත්නම් ඒ පිළිබඳ විධිමත් පැමිණිල්ලක් ඕනෑම විමර්ශන ආයතනයක් වෙත සිදුකරන ලෙස ද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මෙහිදී ඉල්ලීමක් කළා.
එවැනි විමර්ශන ආයතනයක් මගින් කරනු ලබන ඕනෑම විමර්ශනයක් සඳහා තමන්ව කැඳවුවහොත් ඒ සඳහා ඉදිරිපත් වීමට තමන් ඉතා කැමැත්තෙන් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය ලේකම්වරයා සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් ඉකුත් දා සිදුකර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින්. 2015 වසරට පෙර අදාළ සමාගමට ව්‍යාපාර ලබාදීමේදී තමාගේ මැදිහත්වීමක් සිදුව ඇති බවට සැක කරන බව අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වන බවයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සඳහන් කළේ.
ඉකුත් යහපාලන රජය සමයේදී මෙවැනි විවිධ අසත්‍ය චෝදනා කරමින් තමාට එරෙහිව විවිධ වූ විමර්ශන ආයතන රාශියක් මගින් පරීක්ෂණ රැසක් පැවැත්වූ බවත්, එම යහපාලන රජයේ වසර 4 ක කාලයෙන් වැඩි ප්‍රමාණයක් තමා ගත කළේ ඉහත ආයතනවලට ප්‍රකාශ ලබාදිමට බවත් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සඳහන් කළා.
අවසානයේදී එම චෝදනා සනාථ කිරීමට කිසිඳු කරුණක් හෝ තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සඳහන් කළේ.
කිසිඳු සාධාරණ චෝදනාවක් නොමැතිව විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ ඉදිරියේ පැවරුණු නඩුවෙන් ද තමන් නිදොස් කොට නිදහස් කළ බව ද අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් නෙත් නිවුස් වෙත වැඩිදුරටත් සඳහන් කළා.