කාබනික පොහොරවලට අමතරව රසායනික පොහොර ද ආනයනය කිරීමට අදාළ යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කාබනික පොහොර නොමිලේ ලබා දීමට සහ රසායනික පොහොර අවශ්‍ය ගොවීන්ට එම පොහොර මුදලට ලබාදීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.
මේ අතර මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ආරම්භ කළ උපවාසයට අදට දින 09 ක් ගතවී තිබෙනවා. අද පෙරවරුවේ එම ස්ථානයට මහා සංඝරත්නය ද වැඩම කළා.
මෙම උපවාසයට එක් වූ ගොවීන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මහා කන්නයේ වගා කටයුතු සඳහා පමණක් සියයට 50 ක් රසායනික පොහොර ලබාදෙන ලෙසයි.
රසායනික පොහොර ඉල්ලා අරගල සිදුකරන ගොවීන් සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ අද මහනුවරදී අදහස් පළ කළා.
කාබනික පොහොර භාවිත කර අස්වනු අඩුවීමෙන් ගොවීන්ට පාඩුවක් සිදුවුවහොත් එම අලාභය පියවීමට රජය කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.