Saturday, November 2, 2024

General line - 0115112241

ග්ලාස්ගෝ නුවර සමුළුවේදී පහසුකම් නොදුන් බවට ඊශ්‍රායලයෙන් ජගත් සංවිධානයට චෝදනාවක්




විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට පහසුකම් සපයා නොතිබීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට චෝදනාවක් එල්ල වුණා.

මෙම සිදුවීම වාර්තා වුණේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහිදී මේදිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවේදීයි.

චෝදනාව එල්ල කළේ ඊශ්‍රායල අමාත්‍යවරියක් විසින්. විශේෂ අවශ්‍යතා සහිත ඇය ගමන් කරන්නේ රෝද පුටුවෙන් බැවින් ඊයේ පැවැති සමුළුව සඳහා සහභාගීවීමට ද ඇය සිය රෝද පුටුවෙන් පැමිණ තිබුණා.

එහෙත්, රෝද පුටුවෙන් ගමන් කරන පුද්ගලයින්ට සමුළුව පැවැත්වෙන ශාලාවට ඇතුළුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළ සමුළුවේ සංවිධායකයින් විසින් පහසුකම් සපයා නැහැ. එබැවින් සමුළුව පැවැත්වෙන ශාලාව ඉදිරිපිට පැය 02 ක කාලයක් පුරා රෝද පුටුවේ රැඳී සිටි තමන් අනතුරුව කිලෝ මීටර් 80 ක් පමණ දුරින් පිහිටි තමන් නවාතැන් ගෙන සිටි හෝටලට වෙත පැමිණි බවයි අදාළ අමාත්‍යවරිය පවසා ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව නියෝජනය කරන ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ගේ නියෝජිත පිරිස යටතේයි අදාළ අමාත්‍යවරිය ග්ලාස්ගෝ නගරයට පැමිණ තිබුණේ. කෙසේවෙතත් අදාළ අමාත්‍යවරියට අද දිනයේදීත් සමුළුවට සහභාගී වීමට නොහැකි වුවහොත් තමන් ද සමුළුවට සහභාගී නොවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තමන් සංවිධායකයින්ට පැමිණිලි කර ඇති බව ද ඊශ්‍රායල නියෝජිත කණ්ඩායමේ සාමජිකයෙකු සඳහන් කළා. කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් විසින් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද දැනුවත් කර තිබුණා. ඒ අනුව අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර අද පැවැත්වීමට නියමිත හමුවක් සඳහා අදාළ අග්‍රාමාත්‍යවරයට ද බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් අරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.