බද්දේගම ප්රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි බද්දේගම කොටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
එම පුද්ගලයා කොත්තු රොටියක් මිලදී ගැනීම සඳහා අදාළ හෝටලය වෙත පැමිණ ඇති අතර එහිදී හෝටලයේ හිමිකරු සමග බහින් බස්වීමක් සිදුව තිබෙනවා.
පසුව ඔහු සිය නිවෙසට ගොස් මන්නා පිහියක් ද රැගෙන පැමිණ හෝටලයේ හිමිකරුට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ. එම අවස්ථාවේ හෝටල් හිමිකරුගේ පුතා විසින් අදාළ පුද්ගලයාට මෝල් ගසකින් පහරදී තිබෙනවා.
පහර කෑමට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ හෝටලයේ හිමිකරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් හිමිකරුගේ පුත්රයා බද්දේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර බදුල්ල, කොට්ටගොඩ ප්රදේශයේ නිවසක සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අදාළ නිවසේ පදිංචි පුද්ගලයෙකු සහ තවත් අයෙකු අතර බහින්බස්වීමක් සිදුවී දෙදෙනා අතර පොලුවලින් පහරදීමක් සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ගැටුමෙන් පසු එම පුද්ගලයින් දෙදෙනා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව අදාළ නිවසේ පදිංචි පුද්ගලයා නිවස ඉදිරිපිට මිදුලේ වැටී සිටි ආකාරය දැක නිවැසියන් විසින් ඒ පිළිබඳ බදුල්ල පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි පුද්ගලයෙකු පහරදීම සිදුකළ පොල්ලක් සහ තියුණු ආයධයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇති බව බදුල්ල පොලීසිය පැවසුවා.