Friday, November 1, 2024

General line - 0115112241

බැසිල්ගේ තවත් නඩුවක් ගැන නීතිපති තීරණයක් ගන්න සැරසෙයි




මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව ගොණු කළ ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය නොවැම්බර් මස 11 වනදා දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා. 

එම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විත්ති පාර්ශවය විරෝධතා ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය මීළඟ නඩු දිනයේදී දැනුම් දීමට නියමිතයි. නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව දැනුම් දුන්නා.

දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ රුපියල් ම්ලියන 29ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. 

ඒ, 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ම්ලියන 29ක් මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන්.