Friday, November 1, 2024

General line - 0115112241

එළවලු මිලත් ඉහළට - ගෑස් මාෆියාවක් ගැනත් අනාවරණයක්




පාලන මිල ඉවත් කිරීම හා වෙළඳපොලේ භාණ්ඩ හිඟය සම්බන්ධයෙන් අද දිනයේද විවිධ අදහස් පළ වුණා. ඒ අතරින් කතාබහට ලක්වූයේ සතොස හරහා සීනි සහ සහල් ලබා ගැනීමට නම් තවත් භාණ්ඩ 05 ක් අනිවාර්්‍යයෙන් ලබාගත යුතු බවට වෙළඳ අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයයි. 

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ සතොස මගින් ලැබෙන සහනය මුවාවෙන් ඇතැම් ජාවාරම්කාර වෙළෙඳුන් භාණ්ඩ වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා අමතර භාණ්ඩ 5ක් මිලදී ගැනීම අනිවාර්ය කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළා.

කෙසේවෙතත් අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා පැවසුවේ සතොස තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී අමතර භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා පෙළඹවීම නීතිවිරෝධී බවයි. 


මේ අතර සහල් සහ සිමෙන්ති හිඟය තවත් සති දෙකක් පමණ පවතිනු ඇති බවටයි ප්‍රකාශ කෙරෙන්නේ. එළවලු මිල ගණන් ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු වර්ග කිහිපයක කිලෝග්‍රෑමයක මිල රුපියල් 200 ත් 300 ත් අතර මිලක පවතින බවටයි වාර්තා වන්නේ.

මේ අතර මෙරට තුළ ගෑස් මාෆියාවක් ක්‍රියාත්මක බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද පැවසුවා. 

මේ අතර ගෑස් හිඟය හේතුවෙන් පානදුර හා වාද්දුව ප්‍රදේශවල රාත්‍රී අවහන්හල් හිමියන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බව ද වාර්තා වනවා.