වෙළදපොලේ මේ වනවිට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය තවත් සති දෙකකින් පමණ පසුව අවසන් වනු ඇතැයි ආණ්ඩුව විශ්වාසය පළ කරනවා. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සදහන් කළේ පාලන මිල ඉවත් කිරීමත් සමග ආනයනකරුවන් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරටට ගෙන්වීමට දැන් කටයුතු කරමින් සිටින බවයි.
අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් මිල පාලනය කරමින් ගැසට් නිකුත් කිරීම හා එම ගැසට් අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැඩි කතාබහක් පවතිනවා.
පාරිභෝගිකයාට සහන ලබාදීමේ අරමුණින් මිල පාලනය කර ගැසට් නිකුත් කළ පසු ඇතැම් අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළදපොලේ හිග වන අයුරු ඉකුත් සමයේ දැකගත හැකි වුණා. පසුව පැනවූ පාලන මිල ද ඉක්මවා එම භාණ්ඩ අළෙවි වන අතර මිල පාලනය කළ ගැසට් නිවේදනය පසුව ආණ්ඩුව විසින්ම ඉවත් කර ගනු ලබනවා. ඉන් අනතුරුව වෙළදපොලට පැමිණෙන එම අත්‍යවශ්‍ය භාණ්ඩ අළෙවි වන්නේ මිල පාලනයකින් තොරවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන්ද එල්ල වන්නේ දැඩි චෝදනාවක්.
සැබවින්ම පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඇත්තේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීමටද? නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් ඒ පිළිබද ඍජුව ප්‍රශ්න කළා.
වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීමට ඉඩ ලබානොදෙන බව වරින්වර පැවසුවද වෙළදපොලේ එවන් තත්ත්වයක් නොමැති බව වෙළදපොල නිරීක්ෂණයේදී දැකගත හැකියි. මේ වනවිට සීනිවලට අත්ව ඇති ඉරණම ඊට හොදම උදාහරණයයි.
සුදු සීනි, දුඹුරු සීනි, කඩල, උම්බලකඩ, මුං ඇට, කට්ටා කරවල, සාලයා කරවල, බ්‍රොයිලර් කුකුළු මස්, බඩඉරිඟු, ලොකු ලූනු යන භාණ්ඩවල පාලන මිල රජය ඉකුත්දා ඉවත් කළා. ඒ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කෙරුණු ගැසට් පත්‍ර 07ක් අවලංගු කරමින්.
වෙළඳපොලේ එළවලු මිල ගණන් ද ඉහළ ගොස් ඇත්තේ මෙවන් පසුබිමක් තුළයි. ගෑස් හිගයටද මෙතෙක් නිසි විසදුමක් ලැබී නැහැ.