Friday, November 1, 2024

General line - 0115112241

චීනයෙන් තවත් කාබනික පොහොර තොගයක් ගෙන්වීමට සැරසෙයි




චීනයෙන් තවත් කාබනික පොහොර තොගයක් ආනයනය කිරීම සදහා ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වනවිට ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද අවසන් කර ඇති බවයි. එහි තාක්‍ෂණික කමිටු වාර්තාව ලබන සදුදා දිනයේ ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ සදහා සැපයුම්කරුවන් දෙදෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා. එක් සැපයුම්කරුවෙකු කාබනික පෙහොර මෙටි්‍රක්ටොන් දස දහස බැගින් මෙරටට ගෙන්වීමටයි මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ. 

චීනයට අමතරව ඉන්දියාවෙන්ද මේ යටතේ කාබනික පොහොර ගෙන්වීමට නියමිතයි. ඉන්දියාවෙන් මිල ගනන් ඉදිරිපත් කර ඇත්තේ කාබනික දියර පොහොර වර්ගයක් සදහායි. කෙසේවෙතත් චීනයෙන් යළිත් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ කැට පොහොර වර්ගයක් සදහායි. මීට පෙරද ආන්දෝලනයක් ඇති කළේ මෙවැනිම කැට පොහොර වර්ගයක් ආනයනය කළ අවස්ථාවේයි. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙවර ගෙන්වීමට අපේක්‍ෂා කරන්නේ වී වගාවට අවශ්‍ය කාබනික පොහොර නොව අනෙකුත් භෝගයන් සදහා අවශ්‍ය පොහොර බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සදහන් කළා.  

චීනයෙන් ආනයනය කරන කාබනික පොහොර සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, මීට පෙර ආනයනය කිරීමට සැලසුම් කළ කාබනික පොහොර තොගයේ මෙරට පසට හානිදායක බැක්ටීරියාවක් අඩංගු ඇති බවට තහවුරුවීමත් සමගයි. 

කෙසේවෙතත් පරීක්‍ෂයකින් ඒ පිළිබද තහවුරුවීමට පෙර අදාල පොහොර තොගය ලබාගැනීම සදහා චීන සමාගමක් වෙනුවෙන් ණයවර ලිපිද නිකුත් කර තිබීම මෙම කතාබහ තවදුරටත් උණුසුම් කිරීමට හේතු වුණා. පරීක්‍ෂණයෙන් පසු අදාළ පොහොර තොගය මෙරටට භාර නොගැනීමටත් ඊට අදාළ කිසිදු ගෙවීමක් සිදු නොකිරීමටත් ආණ්ඩුව තීරණය කළා. කෙසේවෙතත් වාර්තා පළ වුණේ අදාළ පොහොර තොගය පුරවා ගත් නැව චීනයෙන් පිටත් වී පැමිණ මේ වනවිටත් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේ ඇති බවයි.

කෙසේවෙතත් මෙලෙස මෙම නැව චීනයෙන් පිටත්වී ඇත්තේ ද අන්තර්ජාතික නීති උල්ලංඝණය කරමින් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට හේතුවී ඇත්තේ ජාත්‍යන්තර නීතියට අනුව කිසියම් පොහොර තොගයක සාම්පල් පරීක්‍ෂාවෙන් පසු එහි ප්‍රතිඵල පැමිණෙන තුරු පොහොර තොගය පිටත් කිරීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන්.

පොහොර පමණක් නොව ශාක හා සත්ව සම්භවයක් සහිත ද්‍රව්‍ය රැගත් නෞකාවකට කිසියම් රටකට යාමට අවසර ඇත්තේ පොහොර හෝ එවැනි ද්‍රව්‍ය මිලදී ගන්නා රට විසින් එරටේ ශාඛ නිරෝධායන ඒකකයේ අවසරය ලද හොත් පමණයි. ශ්‍රී ලංකාවේ ශාඛ නිරෝධායන ඒකකය අදාළ චීන පොහොර තොගයට එවැනි අවසරයක් ලබාදී නැහැ. ඒ, සාම්පල් පරීක්‍ෂාවේදී අහිතකර බැක්ටීරියාව හමුවීම හේතුවෙන්.