Saturday, May 4, 2024

General line - 0115112241

චීන කාබනික පොහොර ගැන තීරණය අද




තවත් කාබනික පොහොර තොගයක් චීනයෙන් ආනයනය කිරීමට අදාළ තාක්‍ෂණික කමිටුවේ වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වනවිට ඊට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද අවසන් කර ඇති බවයි. ඒ සදහා සැපයුම්කරුවන් දෙදෙනෙකු මිල ගණන් ඉදිරිපත් කර තිබෙනවා. එක් සැපයුම්කරුවෙකු කාබනික පෙහොර මෙටි්‍රක්ටොන් 10,000 බැගින් මෙරටට ගෙන්වීමටයි මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ. 

චීනයට අමතරව ඉන්දියාවෙන් ද මේ යටතේ කාබනික පොහොර ගෙන්වීමට නියමිතයි. ඉන්දියාවෙන් මිල ගනන් ඉදිරිපත් කර ඇත්තේ කාබනික දියර පොහොර වර්ගයක් සදහායි. කෙසේවෙතත් චීනයෙන් යළිත් මිල ගණන් ඉදිරිපත් කර ඇත්තේ කැට පොහොර වර්ගයක් සදහායි. මීට පෙරද ආන්දෝලනයක් ඇති කළේ මෙවැනිම කැට පොහොර වර්ගයක් ආනයනය කළ අවස්ථාවේයි. ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙවර ගෙන්වීමට අපේක්‍ෂා කරන්නේ වී වගාවට අවශ්‍ය කාබනික පොහොර නොව අනෙකුත් භෝගයන් සදහා අවශ්‍ය පොහොර බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සදහන් කළා.  

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් නෞකාව මේ වනවිට කළුතර - බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවට වාර්තා වනවා. එම පොහොර තොගයට අදාළ සාම්පල පරීක්‍ෂාවේදී අනාවරණ වූයේ එම කාබනික පොහොර තොගයේ මෙරට පසට හානිදායක බැක්ටීරියාවක් අඩංගු වී ඇති බවටයි.

කෙසේවෙතත් පරීක්ෂණයකින් ඒ පිළිබද තහවුරුවීමට පෙර අදාල පොහොර තොගය ලබාගැනීම සදහා චීන සමාගමක් වෙනුවෙන් ණයවර ලිපිද නිකුත් කර තිබුණා. පරීක්‍ෂණයෙන් පසු අදාළ පොහොර තොගය මෙරටට භාර නොගැනීමටත් ඊට අදාළ කිසිදු ගෙවීමක් සිදු නොකිරීමටත් ආණ්ඩුව තීරණය කළා.