Saturday, May 4, 2024

General line - 0115112241

සිරිල් ගාමිණි පියතුමා ගැන නීතිපති අධිකරණයට කරුණු දක්වයි

අධිකරණ වාර්තාකරු




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයට අදාළව ගරු සිරිල් ගාමිණි පියතුමා මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමාඅත් අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගරු සිරිල් ගාමිණි පියතුමා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේ කැදවු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහන්ත අබේසුරිය මහතා මේ බව පවසා සිටියා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඊයේ දින ලිඛිතව නීතිපතිවරයා වෙත ලිපියක් එවමින් සිරිල් ගාමිණි පියතුමා නීතිපතිවරයාගේ උපදෙස් වලින් තොරව අත්අඩංගුවට නොගන්නා බවට දැනුම් දී ඇති බව පවසා සිටියා. 

කෙසේවෙතත්,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ පියතුමාට එරෙහිව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් ඒ අනුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා සිටියේ මේ අවස්ථාවේ එනම්  පෙත්සම්කරු ප්‍රකාශ ලබා දීමට යෑමේදී හෝ විමර්ශන අවදියේ  අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට නීතිපතිවරයාට සහතිකයක් ලබා දිය හැකි බවයි. විමර්ශන අවසානයේ වාර්තා ලැබීමෙන් අනතුරුව පමණක් නීතිපතිවරයා තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

විමර්ශන වලට අදාළ සහයෝගය ලබා දීමට සූදානම් බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා එහිදී අධිකරණය හමුවේ කරුණු සඳහන් කර සිටියා. 

මෙම පෙත්සම විනිසුරු විජිත් මලල්ගොඩ , ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටි.බි. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවූ අතර නඩුව නැවත අප්‍රේල් මස 04 වෙනිදා කැඳවීමට නියමිතය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක  ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව තමා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර ඇති බව සිරිල් ගාමිණි පියතුමා සිය පෙත්සමෙන් පවසා සිටියේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා, පොලිස්පතිවරයා, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇත .

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් උදෙසා වන ගෝලීය සංසදය පසුගිය 23 දා පැවිති වෙබිනර් වැඩමුළුවකදි ප්‍රකාශයට පත් කළ අදහස් සම්බන්ධයෙන් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බව සිරිල් ගාමිණී පියතුමා පවසා සිටියි. ඒ තුලින් සිරිල් ගාමිණී පියතුමා ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවත් ආගමික හා ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට කටයුතු කර ඇති බවට පැමිණිලිකරු චෝදනා කර සිටියි.