Friday, November 1, 2024

General line - 0115112241

තද වැසි තවදුරටත් - අත්තනගලු ඔය සහ කුඩා ඔය ආශ්‍රිත පහත් බිම්වලට ගං වතුර අවදානමක්




දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04 ට නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

ඌව සහ උතුරු පළාත්වලත්, මාතලේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකියි. 

පවතින කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක.

ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංඟා රැසක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. කලු ගඟ උප ද්‍රෝණියේ පිහිටි කුඩා ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත් බිම්වල සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එස් පී සී සුගීෂ්වර.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මඟින් නායයෑම් පිළබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. 

ඒ, හෙට පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදියි. බදුල්ල, කොළඹ, ගාල්ල, කලුතර, නුවර සහ කෑගල්ල, නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු දිස්ත්‍රික්ක කිහිපයක්. එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණු සෙසු දිස්ත්‍රික්ක වන්නේ කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුරයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

පවතින ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 251 දෙනෙකු ආරක්සිත ස්තාන තුළ රදවා සිටින බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නුවරඑලිය වලපනේ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග වලපනේ පදියපලැල්ල මාර්ගයේ පිහිටි ආදාවල ඇල්ල සක්‍රිය වි ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පැවසුවේ. අදාවල ඇල්ල ගලා බසින බෙලිඋල්ඔයේද ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා.