Friday, November 1, 2024

General line - 0115112241

නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවලින් ඉවත් වෙන්න - කාලගුණයෙන් රතු නිවේදනයක්




පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 93 කට බලපෑම් එල්ලවී තිබෙනවා. 

වැසි සහ ආපදා හේතුවෙන් පවුල් 7,529 ක පුද්ගලයින් 28,263 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

ආපදා හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සිදුව ඇති මරණ ගණන 12 ක්. පුද්ගලයින් 445 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රදවා ඇති අතර අවදානම් ස්ථානවල පදිංචිව සිටි තවත් පුද්ගලයින් 1,243 දෙනෙකෙු ඥාතීන්ගේ නිවාසවල රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. ආපදා හේතුවෙන් නිවාස 13 කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 802 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර නැවත දැනුම්දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ රතු නිවේදනයක් නිකුත් කළා. 

ගිණිකොන දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළට ළගා වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ද තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.