Friday, November 1, 2024

General line - 0115112241

මුතුරාජවෙල තෙත් භූමිය සංරක්‍ෂණය ගැන පරිසරවේදීන් කතා කරයි




මුතුරාජවෙල තෙත් භූමිය සංරක්‍ෂණය කිරීමට ප්‍රකාශයට පත් කළ යුත්තේ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ නොව වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥාපනත යටතේ බව පරිසරවේදීන් පවසනවා.

එම රක්‍ෂිතය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නව අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා ඇතැම් පිරිස් උත්සාහ දරන්නේ එම ප්‍රදේශය සංරක්‍ෂණය කිරීමට නොව එහි සංවර්ධන කටයුතු කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට බවයි.

අදාළ ප්‍රදේශ සංවර්ධනය කිරීමට මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා නාගරික සංවර්ධන අධිකාරියට පහසුවක්ද හිමිවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ද ඉදිරිපත් කළා.

මේ අතර වත්තල, ජාඇළ, කටාන, මීගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචි ජනතාවට බාධාවක් නොවන පරිදි මුතුරාජවෙල රක්ෂිත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබුණා.