Friday, November 1, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකාවේ 76 වන අයවැය හෙට පාර්ලිමේන්තුවට 




2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් හෙට පස්වරු 02 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

මෙවර ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ 76 වන අයවැයයි. එය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන මංගල අයවැය ද වනවා. 

හෙට දින මුදල් අමාත්‍යවරයා විසින් අයවැය දෙවැනි වර කියවීමෙන් පසු 13 වනදා සිට නොවැම්බර් 22 වනදා දක්වා දින 07 ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා. 

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීම නොවැම්බර් මස 23 වනදා සිට දෙසැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වෙනවා. 

තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාවේදී මහජන ගැලරිය ජනතාව සඳහා විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට එක්වීමට අවස්ථාය හිමිව තිබෙනවා. 

හෙට දිනයේ විශේෂ අමුත්තන්ගේ ගැලරිය ආරාධිත විදේශ රාජ්‍ය තාන්ත්‍රික තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් වෙනුවෙන් විවෘත කෙරෙනු ඇති.