Monday, May 6, 2024

General line - 0115112241

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොගවල විශාල හිඟයක් 




දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොගවල විශාල හිඟයක් පවතින බව වෙළදුන් පවසනවා. 

පෑලියගොඩ මැනිං වෙළදපොල, දඹුල්ල, කැප්පෙටිපොල, මීගොඩ, තඹුත්තේගම සහ නුවරඑළිය ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග විශාල වශයෙන් අඩු වී ඇති බවයි වෙළදුන් පෙන්වා දෙන්නේ. පෑලියගොඩ මැනිං වෙළදපොල වෙත ලැබෙන එළවළු තොග සියයට 60 කින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. 

එළවළු මිල ගණන්ද පෙර නොවූ අයුරින් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළදපොලේ බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 500 ත් 550 ත් අතර අධික මිලකට අළෙවි වූ බවයි වෙළදුන් පවසන්නේ. කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 250 ක් සහ මාලු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 450 කට වැනි මිලකට අද දිනයේ අළෙවි වුණා. 

කරවිල කිලෝග්‍රෑමයක අද මිල වන්නේ රුපියල් 400 ක්.  

එමෙන්ම වැටකොළු කිලෝග්‍රෑමයක් රුපියල් 280 ත් 300 ත් අතර මිලකටත් වම්බටු කිලෝග්‍රෑමයක් රුපියල් 220 ත් 230 ත් අතර මිලකටත් අළෙවි වූ බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙළදුන් පැවසුවේ. 

අමුමිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 400 ක මිලකටත් දෙහි කිලෝග්‍රෑමයක් රුපියල් 500 ක මිලකටත් අද දිනයේ අළෙවි වුණා. පොහොර හිගය සහ පවතින අයහපත් කාලගුණ තත්ත්වය එළවළු තොග හිඟවීමට සහ මිල අධික ලෙස ඉහළයාමට හේතු වී ඇති බවයි පෑලියගොඩ මැනිං පොදු වෙළද සංගමයේ සාමාජික ලාල් හෙට්ටිගේ පැවසුවේ.

බලධාරීන් පොහොර හිගයට කඩිනම් විසදුම් ලබා නොදුනහොත් තත්ත්වය තවත් බරපතල වනු ඇති බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.