Saturday, May 4, 2024

General line - 0115112241

රංජන් මඩුගල්ලේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන 200 වන ටෙස්ට් තරගය ඇරඹෙයි  




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේවනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 61 ක් රැස්කර ගෙන සිටියා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 32 යි. පැතුම් නිස්සංක ලකුණු 25 ක් රැස්කර ගෙන සිටියා. 

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී ලෙස කටයුතු කරන රංජන් මඩුගල්ලේ අද ගාල්ලේදී ආරම්භ වූ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සුවිශේෂී කඩ ඉමක් පසු කළා. මෙම තරගය රංජන් මඩුගල්ලේ තරග තීරකවරයෙකු ලෙස කටයුතු කරන 200 වන ටෙස්ට් තරගයයි. 

ඒ අනුව රංජන් මඩුගල්ලේ අද වාර්තා පොත් අතරට එක් වුණේ ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ පළමු පුද්ගලයා ලෙසයි. ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන රංජන් මඩුගල්ලේ මෙම සුවිශේෂී කඩ ඉම ඉක්මවා යාමට පෙර පළමු වරට ලොව ටෙස්ට් තරග 100 ක් සහ ටෙස්ට් තරග 150 ක සීමාව පසු කරන ලද පළමු තරග තීරකයා ලෙසින්ද වාර්තා පොත් අතරට එක්ව සිටියා. එම සුවිශේෂී කඩ ඉම් පසු කරන ලද අවස්ථා ද්විත්වයම මවුබිමෙන් පිටදී සටහන් වුවත්, 200 වැනි තරගය සිය මව්බිමේදී සටහන් කර ගැනීමට රංජන් මඩුගල්ලේට අවස්ථාව උදාවීමද විශේෂත්වයක්. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන තීරකවරයා ලෙසින් කටයුතු කරන මඩුගල්ලේ 1993 වසරේ පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැති ටෙස්ට් තරගයෙන් සිය තරග තීරක දිවිය ආරම්භ කළා.  62 දෙහැවිරිදි වියේ පසුවන මඩුගල්ලේ, ඕස්ටේ්‍රලියාව ශූරතාව දිනා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අවසන් වුණු පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහ තරගයේද තරග තීරකවරයා වශයෙන් කටයුතු කළා. 

එම තරගාවලිය ද ඇතුළුව මෙතෙක් ලෝක කුසලාන තරගාවලි 8 කදී තරග තීරකවරයකු ලෙස සේවය ලබා දී ඇති  ඔහු 1999, 2003 සහ 2019 යන වසර වල පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගවලද තරග තීරකවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 21 කට ක්‍රීඩා කර ඇති රංජන් මඩුගල්ලේ අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙසින්ද කටයුතු කළා. එක්දින තරග 63 ක් වෙනුවෙන් දායකත්වය දී ඇති රංජන් මඩුගල්ලේ ඉන් අවස්ථා 13 කදී නායකයා ලෙසින් කටයුතු කර තිබෙනවා.