Sunday, April 28, 2024

General line - 0115112241

බත් පැකට්ටුවෙන් කැරට්, ලීක්ස්, බෝංචි හැලේ




මහජනතාවට ලබාදෙන බත් පැකට්ටුවෙන් කැරට්, ලීක්ස්, ගෝවා වැනි එළවළු රැසක් මේ වනවිට ඉවත් කිරීමට සිදුව ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ අද සිට බත් පැකට්ටුවක මිල ඉහළ දැමුවේද එළවළු මිල හේතුවෙන් බවයි. 

වෙළඳපල නිරීක්ෂණයේදී දැකගත හැකි වුණේ කැරට්, ලීක්ස් සහ බෝංචි කිලෝවක මිල රුපියල් 500 ත් 600 ත් අතර මිලක පවතින බවයි. පොහොර අර්බුදය, අධික වර්ෂාව හා නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් වෙළඳපලේ එළවළු මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාමට හේතුවී තිබෙනවා.  

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සදහන් කළේ දිගින් දිගටම ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් පාරිභෝගික ජනතාව පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණපා සිටින බවයි. 

ඊයේ දිනයේ ආර්ථික මධ්‍යස්ථාන වෙත ලබා නොදුන් එළවළු තොග අද සිට ලබාදීමට නුවරඑළියේ එළවළු ගොවීන් තීරණය කර තිබෙනවා. නුවරඑළියේ එළවළු නොමැතිවීම හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන පාළු ස්වභාවයක් ගෙන තිබුණා. 

කෙසේවෙතත් පෙර පැවති තත්ත්වයෙන්ම එළවළු සැපයුම් සිදුවේ දැයි ප්‍රකාශ කළ නොහැකි බවයි සමස්ථ ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත පැවසුවේ. 

බොහෝ ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉකුත් දින කිහිපයේම ඉහළ ගොස් තිබූ අයුරු දැකගත හැකි වුණා. ඒ අතරට කොස්, දෙල් සහ පොලොස් ද ඇතුළත් වීම කැපී පෙනෙන තත්ත්වයක්. එළවළු නොලැබීම හේතුවෙන් බොහෝ ආර්ථික මධ්‍යස්ථාන ඊයේ දිනයේ පාළුවට ගොස් තිබූ අයුරු ද දැකගත හැකිවුණා. පෑලියගොඩ මැනිං වෙළඳපලට පමණක් ඊයේ දිනයේදී ලැබී තිබුණේ සියයට 25 කටත් වඩා අඩු එළවළු ප්‍රමාණයක් පමණයි.