Saturday, May 4, 2024

General line - 0115112241

ගැසට් ගැසූ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් තනතුරෙන් ඉවතට




පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඒ, වසර 07 ක් පුරා තහනමට ලක්වූ ග්ලයිෆොසේට් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක තහනම ඉවත් කරමින් ඊයේ නිකුත් කළ ආන්දෝලනාත්මක ගැසට් නිවේදනය හේතුවෙන්. ඒ අනුව පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම ගැසට් නිවේදනය නිකුත් කළ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

පලිබෝධනාශක වර්ග කිහිපයක භාවිතයට තිබූ තහනම ඉවත් කරමින් ඊයේ නිකුත් වූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව නෙත් නිවුස් පළමුවරට අනාවරණ කළා.

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් නිකුත් කළ එම ගැසට් නිවේදනයේ සඳහන් වූයේ  පලිබෝධනාශක වර්ග කිහිපයක් සම්බන්ධයෙන් 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියමයන් අවලංගු කරන බවයි.

ඒ අනුව අවලංගු කළ ගැසට් නිවේදනය මගින් ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් තහනම් කර තිබූ බව නෙත් නිවුස් කළ සොයා බැලීමේදී හෙළිවුණා.

නව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග ඒ පිළිබඳ දැඩි ආන්දෝලනයක් ඇතිවුණේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති රැස්වීමකදී බඩඉරිගු, ධාන්‍ය හා එළවළු වැනි වගාවන් සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පොෟද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමුව තිබීම හේතුවෙන්.

කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර නිකුත් වීමට තිබූ ගැසට්ටුවක් ඊයේ දිනයේ හදිසියේ නිකුත් වී ඇති බවයි. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් ද නෙත් නිවුස් වෙත කියා සිටියේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී ප්‍රමාද වී පැමිණි ගැසට් නිවේදනයක් මෙලෙස නිකුත් වී ඇති බවයි.  

මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ අනාවරණයත් සමග එය නිවැරදි කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගත්තා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්.

නෙත් නිවුස් කළ විමසීමකදී පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත් පැවසුවේ තමන් මේවනවිටත් අමාත්‍යංශයේ සිටින බවයි. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ ප්‍රමාදය මත මෙම ගැසට් නිවේදනය ප්‍රමාද වී මුද්‍රණය වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පළ කළේ මෙවන් අදහසක්.

මේ අතර දැඩි සටනකින් පසු තහනම් කෙරුණු ග්ලයිෆොසේට් භාවිතය ආපසු හරවමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ගත් තීරණය වැරදි තීරණයක් බවත්, වහාම එය නිවැරදි විය යුතු බවත්, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ද අද පැවසුවා.