Monday, May 6, 2024

General line - 0115112241

බූස්ටර් එන්නත ලබාදීම ඉහළට




බූස්ටර් එන්නත ලබාදී ඇති මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂයේ සීමාවට ආසන්න වී තිබෙනවා.

ඊයේ දිනයේ එම එන්නත ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 17,798 ක්.

ඒ අනුව මේ වන විට බූස්ටර් එන්නත ලබාදී ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 98,013 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 494 දෙනෙකුටත්, එහි දෙවැනි මාත්‍රාව පුද්ගලයින් 1,529 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 636 ක්. එහි දෙවැනි මාත්‍රාව ද පුද්ගලයින් 426 දෙනෙකුට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

ඒ අනුව මේ වන විට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක පළමු මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි පනස් නව ලක්ෂ 18,179 ක්. ඉන් එක් කෝටි තිස් හත් ලක්ෂ 23,234 ක් මේ වන විටත් දෙවැනි මාත්‍රාව ලබාගෙන අවසන් බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මංගල උත්සව, සිනමා ශාලා, ආපන ශාලා, හෝටල් සංකීර්ණ, උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. එම ක්ෂේත්‍ර ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණය කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

වයස අවරුදු 20 ට වැඩි පුද්ගලයින්ට ද බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුමකින් මුව ආවරණ පැළද නොසිටි පුද්ගලයින් 8,931 දෙනෙකුට පොලීසිය අවවාද කර තිබෙනවා. එම මෙහෙයුමේදී ත්‍රීරෝද රථ සහ යතුරු පැදි 6,753 ක ගමන් කළ පුද්ගලයින් 16,418 ක් පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.  

බස්නාහිර පළාත තුළ එම මෙහෙයුම ඊයේ උදෑසන 06 සිට පස්වරු 06 දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා.  

කෙරෝනා වෛරස ව්‍යාප්තිය  පාලනය කිරීම සඳහා මෙම මෙහෙයුම් ඉදිරියටත් සිදු කරන බවයි බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ.