Monday, May 6, 2024

General line - 0115112241

රසායනික පොහොර ගැන අලුත් තීන්දුවෙන් මතුවන තවත් ගැටළුවක් ගොවි සංගම් පෙන්වයි




රසායනික පොහොර ආනයනයට රජය මැදිහත් නොවීමෙන් එහි වාසිය පෞද්ගලික සමාගම් වෙත පැවරෙන බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ මේ හරහා රජයේ පොහොර සමාගම් දෙක ද අකර්මන්‍ය වන බවයි.  

මෙම තත්ත්වය හේතුවෙන් ආනයනික පොහොර මිටියක මිල අසාමාන්‍ය ලෙස වැඩිවීමේ අවධානමක්ද පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රසායනික පොහොර ආනයනය සහ ලෝක වෙළදපොලේ මිල ගණන් සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ පළ කළේ මෙවන් අදහසක්.

රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනය කිරීම තහනම් කරමින් පසුගිය අප්‍රේල් මස 26 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය තීරණය කළේ ඉකුත් 24වනදායි.

එම තීරණය ප්‍රකාශයට පත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනයට පුද්ගලික අංශයට අවසර හිමිවන බවයි. කෙසේවෙතත් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් නොමැති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.