Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවට පැමිණි දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට කොරෝනා - නව ප්‍රභේදයදැයි සැකයක්




ගුවන් මගින්, ඉන්දියාවේ බෙන්ගලූරු ගුවන් තොටුපළට පැමිණි දකුණු අප්‍රිකානුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. 

ඒ අනුව අදාළ පුද්ගලයින් දෙදෙනාට ආසාදනය වී ඇත්තේ ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයදැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ. 

කෙසේවතත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් බිය නොවී සිටින්නැයි කර්නාටක ප්‍රාන්ත බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා. ලොව පුරා පවතින ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ සලකා රට තුළ ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමටයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ. 

එසේම රෝහල්තුළ පවතින පහසුකම් සොයා බලා රෝහල් පද්ධතිය ශක්තිමත්ව තබන ලෙස ද අග්‍රාමාත්‍ය මෝදි උපදෙස් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇති ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය හමුවේ විදේශිකයින්ට ඇතුළු වීමට නොහැකි වන පරිදි තාවකාලිකව රට වසා දැමීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා. ඒ, එරට කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ඇතිව ගත් තීරණයකට අනුවයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට විදේශිකයින්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් වනු ඇති. සිය රටින් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමුවීමත් සමගයි ඊශ්‍රායලය මෙම තීරණයට එළඹුනේ. 

මේ අතර පවතින තත්ත්වය පිළිබඳ සලකා බලා රට අර්ධ වශයෙන් වසා දැමීමට නෙදර්ලන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. රට තුළ පවතින දැඩි කොරෝනා ව්‍යාප්තිය හා ඔමික්‍රෝන් ප්‍රභේදයේ අවදානම පිළිබඳ සලකා බලා එම තීරණයට එළඹි බවයි එරට බලධාරීන් පවසන්නේ. නෙදර්ලන්ත රෝහල් පද්ධතියේ ධාරිතාව ඉක්මවා මේවනවිට එරටින් දෛනිකව කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට ගුවන් මගින් පැමිණි පුද්ගලයින් 61 දෙනෙකුට කොරෝනා ආසාදිත බවට ඊයේ තහවුරු වූ අතර ඔවුන් ඔමික්‍රෝන් ආසාදිතයින් දැයි සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. 

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද නව සීමා පනවා තිබෙනවා. ඒ අනුව බි්‍රතාන්‍යට ඇතුළුවන සියලු පුද්ගලයින් ඡක්‍ඍ පරීක්ෂණයකට යොමුවිය යුතු අතර එහි ප්‍රතිපල නිකුත් වන තෙක් ඔවුන් ස්වයං නිරෝධායනය යොමු විය යුතු වනවා. 


එසේම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙකුගේ සමීපතමයෙකු නම් එම පුද්ගලයා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටියත් බ්‍රිතානයේ දී ස්වයං නිරෝධායනයට යොමු විය යුතු බවයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයාගේ තීරණය වී ඇත්තේ. 

එමෙන්ම බි්‍රතාන්‍ය තුළ පොදු ප්‍රවාහන සේවාවලදි හා වෙළඳසැල්වලදී මුව ආවරණ පැලඳීම අනිවාර්ය කෙරෙන බව ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. මේවනවිට බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා.