Sunday, May 5, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් බ්‍රිතාන්‍යයේ සමාජ ගත වෙයි




ඔමික්‍රෝන් කොඩිඩ් ප්‍රභේදය මේවනවිට එංගලන්තය තුළ සමාජගත වෙමින් ඇතැයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ලේකම් සාජිඩ් ජාවිඩ් පවසනවා. කොරෝනා දත්ත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා පැවසුවේ ලොව පුරා මෙන්ම බ්‍රිතාන්‍යය පුරා ද මේවනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් ඇති බවයි. 

එංගලන්තයෙන් හඳුනාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන්ගෙන් ඇතැම් ආසාදිතයින් මෑතකදී කිසිඳු රටක සංචාරය කර නොමැති පුද්ගලයින් වීම වඩාත් අවදානම් සහගත තත්ත්වය බවයි සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ. කෙසේවෙතත් ආසාදිතයින් රෝහල්ගත වීමේ පැහැදිළි අඩුවක් දක්නට ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

බ්‍රිතාන්‍යයෙන් මේවනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 336 දෙනෙකු වාර්තා වනවා. පළමු ආසාදිතයින් 05 දෙනා වාර්තා වීමත් සමග එය 300 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ සතියක පමණ කාලයක් තුලදී වීම විශේෂත්වයක්. ඉකුත් ඉරිදා දිනයේදී පමණක් බ්‍රිතාන්‍යයෙන් ඔමික්‍රෝන් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර ස්කොට්ලන්තය තුළ ද ඔමික්‍රෝන් වෛරසය සමාජගත වී ඇතැයි එහි ප්‍රධාන අමාත්‍ය නිකෝලා ස්ටර්ජන් ද මීට පෙර අනාවරණ කළා. 

කෙසේවෙතත් ඉදිරි මාස කිහිපය ඇතුළත බ්‍රිතාන්‍යය හා යුරෝපා රටවල පැතිර යන ප්‍රධාන කොරෝනා වෛරස් ප්‍රභේදය ඔමික්‍රෝන් වනු ඇති බවටයි සෞඛ්‍ය විශේෂඥයින් මේවනවිටත් අනතුරු අගවා ඇත්තේ.