Monday, April 29, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන් ස්වර්ගස්ථ වෙයි 




නොබෙල් සාමත්‍යාග ලාභී දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන් ස්වර්ගස්ථ වී තිබෙනවා. 

ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 90 ක්. අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන් දකුණු අප්‍රිකාවේ මෙන්ම ලොව පුරා ජනාදරයට පාත්‍ර වූ පියතුමෙක්. 

ඊට හේතුව වන්නේ දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීමට ප්‍රබල දායකත්වය දැක්වූ පිරිස අතර ඩෙස්මන් ටුටූ පියතුමන් ද පෙරමුණේ සිටීමයි. 

අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන්, දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ සමකාලීනයෙකු ද වනවා. 

අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන්ගේ අභාවය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉන් පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකාවේ තවත් විශිෂ්ට පරිච්ඡේදයක් නිමාවට පත්ව ඇති බවයි. 

වර්ණභේදවාදී ක්‍රමය අහෝසි කිරීමේ අරගලයේ සිය භූමිකාව වෙනුවෙන් 1984 වසරේදී අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවා.