Monday, May 6, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් බැලුම්ගලින් හෙළි කළ අපරාධ සිදුකළ කල්ලිය අද අධිකරණය හමුවට




ප්‍රභූවරුන්ගේ නම් ද අවභාවිත කරමින් මුදල් වංචාවන් සහ තර්ජනය කිරීම ඇතුළු අපරාධවල යෙදෙන බවට නෙත් එෆ් එම් බැලුම්ගලින් අනාවරණ කළ කල්ලියක අත්අඩංගුවට ගත් 04 දෙනෙකු අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කෙරෙනවා. විමර්ශන සිදුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවයි. 

පළමු සැකකරු ජනක ගුණරත්න නමැත්තෙකු වන අතර ඔහු සහ ඔහුගේ සහයකයෙකු ඉකුත් 02 වනදා අත්අඩංගුවට ගැණුනා. සැකකාරියක් සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවයි. 

මෙම කල්ලිය විසින් සිදුකළ මුදල් වංචා කිරීම් පිළිබද නෙත් එෆ් එම් බැලුම්ගල ඉකුත් අගෝස්තු මස 17වනදා පළමුවරට අනාවරණ කළා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ සහ උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේද නම් අවභාවිත කරමින් ඔවුන් මුදල් වංචා සිදුකරන බවයි නෙත් එෆ් එම් බැලුම්ගල සාක්ෂි ඉදිරිපත් කරමින් එහිදී අනාවරණ කළේ. 

සැකකාර කල්ලිය පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල තවත් අනාවරණයක් ඉකුත් ඔක්තොම්බර් 05 වනදා සිදුකෙරණු අතර සාක්ෂි ඉදිරිපත් කරමින් එහිදී අනාවරණ කෙරුණේ ප්‍රභූවරුන්ගේ නම් අවභාවිත කරමින් දේශීය ව්‍යවසායකයන්ට තර්ජනය කිරීමට ද ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.

මෙම අනාවරණයන්ගෙන් පසු අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. පැලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත අගතියට පත් පොලිස් නිලධාරීන්ගෙන්ද පැමිණිලි ලැබුණු බවයි වාර්තා වුණේ. විමර්ශන ඒ අනුව ආරම්භ වූ අතර විමර්ශන සදහා නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායමෙන්ද තොරතුරු ලබාගැනුණා.