Monday, April 29, 2024

General line - 0115112241

ටික් ටොක් වීඩියෝවක් නිසා 17 හැවිරිදි තරුණයෙකු ඝාතනය කරයි 




සමාජ මාධ්‍ය ජාලයක තිබූ වීඩියෝවක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය පටුමග ප්‍රදේශයේදී බාලවයස්කරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. 

පොලීසිය පැවසුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ 17 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඊයේ දහවල් මාදම්පිටිය පටුමග ප්‍රදේශයේ දී මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

මෙම බාලවයස්කරු ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග මාදම්පිටිය මාර්ගයේ හේනමුල්ල රන්දිය උයන මහල් නිවාස සංකීර්ණය දෙසට යමින් සිටින අතරතුර ඔවුන් පසුපස පැමිණි මෙම බාලවයස්කරු හඳුනන තවත් පිරිසක් විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබුණා. 

මරණකරු සමග ටික්ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.