Sunday, September 22, 2024

General line - 0115112241

කේමදාසයන්ගේ ‘අවසන් සංගීත නිර්මාණ‘ එකතුව එළැඹෙන ඔක්තෝබරයේදී




මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් සිදුකළ මහා සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ අවසන් සංගීත නිර්මාණ එකතුව එළඹෙන ඔක්තෝබර් මාසයේදී එළිදැක්වීමට සියලු කටයුතු සැලසුම්කර ඇත. ගීත 20 කින් සමන්විත මෙය නම්කර ඇත්තේ ‘ආදර රහස්’ යන නමිනි. මෙම සීඩී තැටියේ අන්තර්ගත ගීත නිශාන්ත විජේසිංහයන් විසින් රචනා කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් මස 23 වැනිදා පස්වරු 6.30 ට නෙලුම් පොකුණ රඟහලේදී දොරට වඩියි. එහිදී සීඩී තැටියේ අඩංගු ගීත අදාළ ගායක ගායිකාවන් විසින් සජීවීව ගායනා කරනු ඇත. අමරසිරි පීරිස්, ටී. එම්. ජයරත්න, කසුන් කල්හාර, ඉන්දිකා උපමාලි, උමාරියා සිංහවංශ, ඩබ්ලිව්. ඩී. ආරියසිංහ, උමාලි තිලකරත්න සහ සුබුද්ධි ලක්මාලි ඇතුළු ගායක ගායිකාවෝ රැසක් මෙම ප්‍රසංගයේදී ගී ගායනා කරති.

ප්‍රේමසිරි කේමදාසයන් යනු මෙරට සංගීතයේ නිම්වළලු පුළුල් කළ මහා සංගීතඥයෙකු බව අමුතුවෙන් කිවයුතු නොවේ. දේශීය සංගීතය සාම්ප්‍රදායික සීමාමායිම්වලින් ඔබ්බට ගෙනයාමට එතුමන්ගෙන් සිදුවූයේ අමිල මෙහෙවරකි. ශ්‍රී ලාංකීය ජන සම්ප්‍රදායන්ගෙන් මෙන්ම හින්දුස්ථාන් සහ බටහිර සංගීත සම්ප්‍රදායන්ගෙන්ද අභාෂය ලබමින් තමන්ට අනන්‍ය වූ සුවිශේෂී සංගීත ආරක් ගොඩනැගීමට එතුමන් සමත් විය.

‘ආදර රහස්’ ගීත එකතුවේ ඇති සංගීත රටා, මිනිස් මොළයට උචිත සංඥා පරාසයක් උත්තේජනය කරන බව විද්‍යාත්මකව ඔප්පු කර ඇති බව, මෙම ප්‍රසංගයේ සංවිධායකවරු පවසති. එය මතකය, නිර්මාණශීලීත්වය සහ බුද්ධිය උද්දීපනය කරන ඇසිදිසි නිර්මාණයක් ලෙස ඔවුහු හඳුන්වති.

සීඩී තැටියට අමතරව ‘ආදර රහස්’ නමින් සුවිශේෂී ග්‍රන්ථයක්ද මෙම උත්සවයේදී එළිදැක්වෙනු ඇත. මෙහි සෑම ගීතයක් සඳහාම වෙනම පරිච්ඡේදයක් වෙන්කර ඇති අතර, සංගීතයේ මනෝ විද්‍යාත්මක පැතිකඩ එහිදී විස්තර කෙරේ. එමෙන්ම එය උපතේ සිට මරණය දක්වා මානව ප්‍රේමයේ අධ්‍යාත්මික පසුබිම මනෝ විද්‍යාත්මකව විස්තර කරයි. ජීවිතයේ සාර්ථකත්වයට සහ පෞරුෂ වර්ධනයට වැදගත්වන කරුණු රැසක්ද ඇතුළත් මෙම පොත දෙමාපියන්ට, යෞවන යෞවනියන්ට, මනෝ විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ පොදුවේ මුළුමහත් සමාජයටම බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

1992 දී ප්‍රේමසිරි කේමදාසයන් විසින් මෙම පදනම ආරම්භ කරන ලද්දේ විශේෂයෙන්ම දිවයිනේ අඩු පහසුකම්ලාභී පවුල්වල දරුවන්ට සංගීතය හැදෑරීමේ අවස්ථාව ලබාදීමේ උදාර අරමුණිනි. මෙම ප්‍රසංගයේ මූලික අරමුණක් වනුයේ කේමදාස පදනමේ ශිෂ්‍ය අරමුදලට ආධාර සපයාගැනීමයි. මෙමගින් ලැබෙන මුදලින් කොටසක් ඒ සඳහා වැයකොට එහි අනාගත සැලසුම් සකස් කිරීම ප්‍රසංගය අවසානයේදී සිදුවේ.