Sunday, May 5, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තලේබාන් පාලනයට අවවාදයක්




රට තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම් වැළැක්වීමට කඩිනම් පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය වෙත අවධාරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන කාර්යාලයේ නියෝජිතයන් සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවති සාකච්ඡාවකදී මෙම කරැණු අවධාරණය කෙරැණු බව සදහන්.

තලේබාන් පාලනය යටතේ ගතවූ කාලසීමාවේදී සිවිල් ක්‍රියාකාරිකයන් , මාධ්‍යවේදීන් ,ආගමික නායකයන් මෙන්ම පැවති ඇෆ්ගනිස්තාන ආණ්ඩුව යටතේ සේවය කළ රාජ්‍ය නිලධාරින් ,අධිකරණ නිලධාරින් ,හමුදා සාමාජිකයන් රැසක් පැහැරගෙනයාමට සහ ඝාතනය කිරීමට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කාන්තා ක්‍රියාකාරිනියන් පැහැරගෙනයාම, ඝාතනය කිරීම සහ ඔවුන්ට එරෙහි සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙහිදී දැඩි අවධානයක්  යොමු කර ඇති බව සදහන්.

තලේබාන් පාලකයන් මෙම තත්වය වැළැක්වීමට සහ පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ දැනට සිදුව ඇති ඝාතන සහ පැහැරගෙනයාම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පැවැත්වීමේ අවශ්‍යතාවය ද එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් විසින්⁣ මෙහිදී පෙන්වා දී ඇති බවයි.