Monday, April 29, 2024

General line - 0115112241

යුද්ධයකට මුල පුරමින් සිටින බවට රුසියාවෙන් අමෙරිකාවට චෝදනා




රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අමෙරිකාවට ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබෙනවා. 

ඒ, සිය රට යුද්ධයකට ඇද දැමීමට අමෙරිකාව උත්සහ දරමින් සිටින බවටයි. යුක්රේනය පදනම් කර ගනිමින් අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ රුසියාව අතර හටගෙන ඇති අර්බුදය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරයා මෙම චෝදනාව සිදුකර තිබෙනවා. යුක්රේන අර්බුදය මධ්‍යයේ බටහිර රටවලින් රුසියාවට දිගින් දිගටම චෝදනා එල්ල වුණා. 

කෙසේවෙතත් අදාළ චෝදනා වලට සති කිහිපයකට පසුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

අමෙරිකාවේ ඉලක්කය වී ඇත්තේ රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීම බවත්, ඊට මුවාවී අමෙරිකාව ගැටුමකට මුල පුරමින් සිටින බවටත් රුසියානු ජනාධිපතිවරයා අමෙරිකාව වෙත චෝදනා එල්ල කළා. 

එමෙන්ම යුරෝපා කලාපය තුළ නේටෝ සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රුසියාව දක්වන අවධානය අමෙරිකාව විසින් නොසලකා හැර ඇති බවයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ. 

කෙසේවෙතත් යුක්රේන දේශ සීමාව ආසන්නයේ සිටින සිය සන්නන්ධ බලඇණි ශක්තිමත් කරමින් යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන බවට රුසියාවට චෝදනා එල්ල වනවා. 

රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළා. කෙසේවෙතත් විචාරකයින් පවසන්නේ රුසියාව මෙන්ම අමෙරිකාව ද ජාත්‍යන්තරය තුළ තමන් සතු බලය පෙන්වීම සඳහා යුක්රේනය භාවිත කරමින් සිටින බවටයි.