Monday, May 6, 2024

General line - 0115112241

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුත්‍රයා පොලීසියට භාරවෙයි




රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට එහි නේවාසිකාගාරයට පැමිණ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා පොලීසියට භාර වී තිබෙනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී රාගම පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඔහු ඊයේ රාත්‍රියේ රාගම පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වූ බවයි. ඔහු පොලීසියට භාරවූයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග බවයි එම උසස් පොලිස් නිලධාරියා නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සඳහා තමන්ද පැමිණි බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා එහිදී පොලීසියට පවසා තිබෙනවා. 

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සැකකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඉන් 05 දෙනෙකු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එම සැකකරුවන් අද දිනයේ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 
 
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ සඳහන් කළේ  මෙම සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඔප්පු කලහොත් රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි.