Sunday, May 5, 2024

General line - 0115112241

උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගවීමේ අවදානමක්




පවතින ඩොලර් අර්බුදය හමුවේ උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇති විය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු අගවනවා. එය වළක්වා ගැනීමේ මූලික පියවරක් ලෙස දැනට වරායේ සිරවී ඇති බහලුම් කඩිනමින් නිදහස් කර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ.  

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගෙන්ද ඉල්ලීමක් කළ බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ඊට අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් සදුදා දිනයේයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් එම සාකච්ඡාව අවලංගු වී තිබුණා. ජනාධිපති ලේකම්වරයා සමග ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවටයි අත්‍යවශ්‍ය ආනයනයකරුවන්ගේ සංගමය විශ්වාසය පළ කරන්නේ. 

ඩොලර් හිගය හේතුවෙන් වරායේ සිරවී ඇති බහලුම් සංඛ්‍යාව 1,500 ක් පමණ වනවා. එහෙත් දිනකට ඉන් මුදාගැනීමට හැකි වන්නේ බහලුම් 60 කටත් අඩු සංඛ්‍යාවක් බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 

දිනකට වරායෙන් මුදා හරින බහලුම් සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගැනීමට වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමගද යළිත් සාකච්ඡා කරන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න වැඩිදුරටත් සදහන් කළේ